
සම පැහැපත් කරන ආලේපනයක් (fairness cream) භාවිතා කළ 17 හැවිරිදි දැරියකට බරපතළ වකුගඩු රෝගයක් වැළඳුණු බවට එල්ල වන චෝදනාවකින් පසු, ඉන්දියාවේ දකුණුදිග කේරළ ප්‍රාන්තයේ පොලිසිය එම ආලේපන වෙළඳ නාමයට එරෙහිව නඩු පවරා තිබේ.
එම ආලේපනයේ අඩංගු බව සඳහන් රසදිය (mercury) මට්ටම හේතුවෙන්, ඇය මෙලෙස වකුගඩු රෝගී තත්ත්වයකට මුහුණපා ඇති බව වාර්තා වේ.
මෙම දැරිය, සමාජ මාධ්‍යයේ දැන්වීමක් දැකීමෙන් පසු කුරුලෑ සහ සමේ ලප කැළැල්වලට ප්‍රතිකාර කිරීම සඳහා එම ආලේපනය මිලදී ගෙන ඇති බව සඳහන්.
ඉන්දියාව තුළ සම පැහැපත් කරන ආලේපන සඳහා දැඩි උන්මාදයක් පවතින අතර, එය එවැනි ආලේපන අලෙවි කරන වෙළඳ නාම සීඝ්රයෙන් ව්‍යාප්ත වීමට හේතුව තිබේ. කෙසේ නමුත් ඒවායින් සියල්ලම නියාමනයට ලක්ව නොමැත.
මෙම ආලේපනවලින් ඇතැම් ඒවායේ රසදිය සහ ඊයම් වැනි විෂ සහිත ලෝහ අඩංගු විය හැකි බවත්, නමුත් ඒවා සමාජ මාධ්‍ය වේදිකා හරහා අලෙවි කරන බැවින් එම වෙළඳ නාම බොහෝ විට බලධාරීන්ගේ පරීක්ෂාවට හසුනොවේ.
සහතික නොකළ සහ පරීක්ෂාවට ලක් නොකළ නිෂ්පාදන පවා තරුණ පිරිස් වෙත අලෙවි කිරීමට මෙම වෙළඳ නාම බොහොමයක් සමාජ මාධ්‍ය භාවිතා කරයි.
මෙම යෞවනිය ප්‍රතිකාර ලැබූ මලප්පුරම් දිස්ත්‍රික්කයේ 'Aster MIMS Mother' රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, දැරියට'membranous nephropathy' නම් ජීවිතයට තර්ජනයක් වන වකුගඩු රෝගී තත්ත්වය වැළඳී ඇති බවයි. එහිදී ප්‍රතිශක්තිකරණ තැන්පතු මගින් වකුගඩුවල පෙරහන් බිත්ති ඝන වී, විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් මුත්‍රා සමඟ පිටවීම සිදු වේ.
සම හරහා අවශෝෂණය වන රසදිය මගින් වකුගඩුවල පෙරහන් ඒකකවලට හානි සිදුවී රුධිරය විෂ වීමට හේතු විය හැකි බව එම රෝහල වැඩිදුරටත් පෙන්වා දෙයි. ප්‍රතිකාර නොකළහොත් එවැනි විෂ වීමක් වකුගඩු අකර්මණ්‍ය වීමට සහ බරපතළ ස්නායු ආබාධවලට හේතු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
දැරියට අනුව, මීට වසරකට පමණ පෙර සමාජ මාධ්‍ය යෙදුමක් හරහා මෙම ආලේපනය මිලදී ගෙන ඇති අතර පසුගිය වසර තුළ බෝතල් තුනක් මිලදී ගෙන තිබේ.
නමුත් මාස කිහිපයක් ආලේපනය භාවිතා කිරීමෙන් පසු, ඇයට තෙහෙට්ටුව, හිසරදය, කරකැවිල්ල, නින්ද නොයාම ඇති වීමට පටන්ගෙන ඇති අතර ඇගේ කකුල් සහ මුහුණ ඉදිමීමට පටන්ගෙන තිබේ.
පසුව ඇයට ප්‍රතිකාර කිරීමට ආරම්භ කර ඇති අතර ඇගේ රෝග ලක්ෂණවල අසාමාන්‍ය වර්ධනය හේතුවෙන් ශරීරය තුළ විෂ ද්‍රව්‍යයක් ඇති බවට සැක කිරීමට වෛද්‍යවරු පෙළඹී තිබේ.
පසුව සිදු කළ රුධිර හා සායනික පරීක්ෂණවලින් ඇගේ ශරීරයේ රසදිය මට්ටම අනතුරුදායක ලෙස ඉහළ ගොස් ඇති බව හෙළිව ඇත.
ඒ අනුව සම හරහා රසදිය දැරියගේ රුධිර ප්රවාහයට ඇතුළු වන්නට ඇති බවට වෛද්‍යවරුන්ට ඇති වූ සැකය මත, ඔවුහු පරීක්ෂා කිරීම සඳහා එම ආලේපනයේ සාම්පලයක් රසායනාගාරයකට යවා තිබේ.
අනතුරුව වෛද්‍යවරු වකුගඩු ආශ්රිත සංකූලතා පාලනය කරන අතරතුර, විෂ ඉවත් කිරීම සඳහා ඖෂධ ලබා දෙමින් දැරියට ප්‍රතිකාර කර ඇත.
ඒ අනුව ඇය මාසයක පමණ කාලයක් රෝහල්ගතව සිටි බව වාර්තා වේ.
මේ අතර, කේරළ පොලිසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කේරළ ප්‍රාන්ත ළමා අයිතිවාසිකම් සුරැකීමේ කොමිසම ද ආලේපන නිෂ්පාදකයාට එරෙහිව නඩුවක් ලියාපදිංචි කර ඇති බව සඳහන්.
මෙම සිදුවීම මගින් සුදු පැහැති සම කෙරෙහි ඉන්දියාවේ ඇති උන්මාදය සහ තමන්ව පැහැපත් කරන බවට පොරොන්දු වන්නේ නම්, නියාමනය නොකළ ආලේපන පවා මිලදී ගැනීමට මිනිසුන්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඇති කැමැත්ත යළිත් කතාබහට ලක්ව තිබේ.
ඊට හේතුව ඉන්දීය සමාජය තුළ අඳුරු සමට එරෙහි සංස්කෘතික පක්ෂග්‍රාහීත්වය ගැඹුරින් මුල් බැස තිබීම සහ පැහැපත් සමක් නොමැති අය බොහෝ විට වෙනස් කොට සැලකීම්වලට ලක් වීමයි.
මෑත කාලීනව, සමාජ ක්‍රියාකාරීන් සහ බොලිවුඩ් නළු නිළියන් පවා පැහැපත් සම සඳහා ඇති මෙම අහිතකර කැමැත්ත පිළිබඳව හඬ නඟා ඇති අතර, 'පැහැපත් බව වඩා හොඳය' යන පුළුල්ව පවතින මතයට අභියෝග කිරීම විශේෂය.