2026 වර්ෂය සඳහා සුමති සම්මාන උළෙල පවත්වන දිනය, නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එලඹෙන වසරේ ජූලි 15 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී සවස 5.00 සිට, අභිමානවත් 31 වන සුමති සම්මාන උළෙල ඇරඹෙනු ඇති බවයි එහි සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
මෙම මාධ්‍ය හමුවට සුමති සම්මාන විනිසුරු මඩුල්ලේ සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාද එක්ව සිටියා.
පුංචි තිරයේ අසිරිමත් කලා මංගල්‍යය ලෙස තිස් වසරක් පුරාවට ම කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ රූපවාහිනී නාලිකා මහත් සේ උනන්දුවක් දක්වන සුමති සම්මාන උළෙලේ මීළඟ දිගහැරුමට කල්තියාම සූදානම් වියහැකි ලෙස මෙලෙස දිනය ප්‍රකාශයට පත්කළ බවයි තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව සම්මාන බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට තමන්ගේ නිර්මාණ ජූරිය වෙත ලබා දීමට කාලය ලැබෙනු ඇති.
1995 වර්ෂයේ සිට වසර 30 ක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එන සුමති සම්මාන උළෙල 'ආසියාවේ ප්‍රථම ටෙලි නාට්‍ය සම්මාන උළෙල' ලෙස වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.
එමෙන්ම මෙය වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහිත ස්වාධීන සම්මාන උළෙල ලෙස ද ලාංකේය කලා ක්ෂේත්රය තුළ වඩාත් කතාබහට ලක්වන්නකි.
සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් සුමති සම්මාන ජූරි සභාපති සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා මෙහි විනිවිදභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකළා.