උෂ්ණත්ව මට්ටම ඉහළ යාම හේතුවෙන්, දකුණු යුරෝපය පුරා බොහෝ ප්‍රදේශවල ලැව්ගිනි තත්ත්වයක් හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවත් සඳහන්.
එමෙන්ම තවත් දහස් ගණනක් ජනතාවට නිවෙස්වලින් බැහැරව සිටින ලෙසට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් යන ප්‍රදේශවල රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා ඉහළ යාම සෞඛ්‍යය තත්ත්වයට සැලකිය යුතු අවදානම් තත්ත්වයක් ඇති කරන බවට ද අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර ස්පාඤ්ඤයේ සෙවිල් සහ කෝර්ඩෝබා යන නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ඉහළ යා හැකි බවද එරට කාලගුණ සේවය නිවේදනය කර තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍යයට සැලකිය යුතු අවදානමක් එල්ලව ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.
විදෙස් වාර්තාවන්ට අනුව ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශවල 4,000කට ආසන්න පිරිසක් ලැව්ගිනි හේතුවෙන් ඉවත් කර ඇති අතර, ලැව්ගිනි 30කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් සඳහන්.
ඒ අතර අලංකාර පුරාණ රන් ආකර සඳහා ප්‍රසිද්ධ යුනෙස්කෝ ලැයිස්තුවට ඇතුළත් Las Médulas ප්‍රදේශයට ද එක් ගින්නකින් තර්ජන එල්ල වී ඇති බව සඳහන්.
පෘතුගාලයේ ද විශාල ලැව්ගිනි තුනක් ක්‍රියාත්මක බවත් ගිනි නිවීම් සඳහා ගුවන් යානා 14ක් සහ ගිනි නිවන භටයන් 1,300කට අධික පිරිසක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉතාලියේ දරුවෙකු තාප ආඝාතය (heatstroke) හේතුවෙන් මියගොස් තිබෙනවා. ඒ අනුව රෝමය, මිලාන් සහ ෆ්ලෝරන්ස් ඇතුළු ඉතාලි නගර 10කට රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් සඳහන්.
විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් මධ්‍යධරණී ගිම්හාන කාලය වඩාත් උණුසුම් හා වියළි වන බවත්, එය ලැව්ගිනි ඇතිවීමේ අවදානම වැඩි කරන බවත්ය.