
ඉරානයට එරෙහි යුද මෙහෙයුම් අතරතුර ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇමෙරිකානු හමුදාවට ගුවන් යානා රැසක් සහ මැදපෙරදිග පිහිටි හමුදා හා රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලි සිය ගණනක් අහිමිව හෝ හානිවී ඇති බව පෙන්ටගනයේ අධීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ මෙම වාර්තාවට අනුව, පෙබරවාරි 28 සිට ජුනි 30 දක්වා කාලය තුළ ඉරාන ප්‍රහාර හේතුවෙන් ඇමෙරිකානු හමුදා සාමාජිකයන් 11 දෙනකු මියගොස් ඇති අතර, තවත් 417 දෙනකු තුවාල ලබා තිබේ.
එමෙන්ම හමුදා සාමාජිකයන් හත් දෙනකු වෙනත් සතුරු නොවන සිදුවීම්වලින් මියගොස් ඇත.
ඇමෙරිකාවට සිදුවූ ගුවන් යානා හානි අතර F-15E ප්‍රහාරක යානා හතරක්, A-10 ප්‍රහාරක යානයක් සහ KC-135 ගුවන් ඉන්ධන පිරවුම් යානා කිහිපයක් ඇතුළත් වේ.
F-35A යානයකටද හානි සිදුව ඇති අතර, E-3 Sentry ගුවන් නිරීක්ෂණ යානයක් සහ HH-60W හෙලිකොප්ටරයකටද හානි සිදුව තිබේ.
එම වාර්තාවේ දැක්වෙන්නේ MQ-9 Reaper නියමුවන් රහිත යුද ඩ්‍රෝන යානා 30ක් පමණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
MQ-4C Triton නිරීක්ෂණ ගුවන් යානයක්ද විනාශ වී ඇති අතර, AH-64 Apache ප්‍රහාරක හෙලිකොප්ටරයකටද හානි සිදුව තිබේ.
ඉරාන ප්‍රහාර හේතුවෙන් කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඉරාකය, ඕමානය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවල ගොඩනැගිලි හා අනෙකුත් ව්‍යුහයන් සිය ගණනකට හානි සිදුවී හෝ ඒවා විනාශ වී ඇති බවද වාර්තාව සඳහන් කරයි.
මෙම යුද මෙහෙයුම් සඳහා පෙබරවාරි 28 සිට ජුනි 30 දක්වා කාලය තුළ ඇමෙරිකාව වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 33ක් පමණ වන අතර, භාවිත කළ අවි සඳහා පමණක් ඩොලර් බිලියන 22ක් පමණ වැය වී ඇත.
ඉරාන ප්‍රහාර හේතුවෙන් ඉරාකය, කුවේට්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කාර්යාලවලටද හානි සිදුවී ඇති අතර, එහි සමස්ත වියදම ඩොලර් මිලියන 184ක් පමණ බව වාර්තාව සඳහන් කරයි.
ඉරාකයේ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමට පමණක් ජුනි අවසානය වන විට ප්‍රහාර 600කට අධික සංඛ්‍යාවක් එල්ල වී ඇති අතර, එමගින් සිදුවූ හානිය ඩොලර් මිලියන 157කට ආසන්න බවද වාර්තාව පවසයි.
මේ අතර, ඇමෙරිකානු හමුදාව සිය අවි සංචිත සම්බන්ධයෙන් සැපයුම් බාධා සහ හිඟයන්ට මුහුණ දෙමින් සිටින බවද පෙන්ටගන් වාර්තාව අනාවරණය කර තිබේ.
එය යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකානු පාර්ශ්වයෙන් මීට පෙර ඉදිරිපත් කළ ඇතැම් ප්‍රකාශ සමඟ පරස්පර වන තත්ත්වයක් ලෙස සැලකේ.