
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පුළුල් ද්විපාර්ශ්වික සාකච්ඡා අද (11) නවදිල්ලියේදී පැවැත්විණි.
දෙරට අතර වාර්ෂික වෙළෙඳ පිරිවැටුම 2030 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවීම, ආරක්ෂක, බලශක්ති සහ අත්‍යවශ්‍ය ඛනිජ ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අවධානයට ලක්වනු ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා දින තුනක සංචාරයක් ආරම්භ කරමින් ජනාධිපති පුටින් අද (11) උදෑසන නවදිල්ලියට පැමිණියේය.
ඉන්දියාව සහ රුසියාව අතර දැනට පවතින ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද නායකයන් දෙදෙනාගේ අවධානය යොමුවන්නට ඇතැයි සඳහන් වේ.
රුසියානු ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණේ බ්‍රහ්මෝස් මිසයිල පද්ධතිය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.
එමෙන්ම ඉන්දියාවට ඉතිරි එස්-400 ගුවන් ආරක්ෂක පද්ධති සැපයීම සම්පූර්ණ කිරීමට රුසියාව කැපවී සිටින බවත්, එස්යූ-57 ප්‍රහාරක යානා සැපයීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබිණි.
දෙරට අතර බලශක්ති සහයෝගීතාවද ශක්තිමත්ව පවතින බව පෙස්කොව් ප්‍රකාශ කර ඇති අතර, ඉන්දියාවේ නව සිවිල් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක ස්ථාපිත කිරීමේ සැලසුම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වය අවධානය යොමු කරමින් සිටින බවද සඳහන් කර තිබේ.
පසුගිය සතියේ බිෂ්කෙක්හි පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවට සමගාමීවද මෝදි සහ පුටින් හමුවී තිබිණි.
එහිදී යුක්රේන ගැටුම වහා අවසන් කරන ලෙස මෝදි ඉල්ලා සිටි අතර, “නිමක් නැති යුද්ධයකින් යුද්ධය අවසන් කිරීමේ මාර්ගයට” යොමුවන ලෙස රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
යුක්රේන යුද්ධය සහ සාමය සඳහා වන ඉදිරි මාර්ග සිතියමද මෙවර මෝදි–පුටින් සාකච්ඡාවලදී ප්රමුඛ කරුණක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෝදි–පුටින් හමුවට පෙර ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කළේ 2030 වන විට දෙරට අතර වෙළෙඳ පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවීම සඳහා අවශ්‍ය පියවර කෙරෙහිද නායකයන්ගේ අවධානය යොමුවනු ඇති බවයි.
රුසියාව සමඟ කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, දුම්රිය හා උමං මාර්ග ඉදිකිරීම් ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම, වානේ කර්මාන්තයේ අගයදාමය සංවර්ධනය කිරීම සහ ඉන්දීය අපනයනකරුවන්ට රුසියානු වෙළෙඳපොළ වෙත වැඩි ප්‍රවේශයක් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීමට නියමිතය.