
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් සමඟ පාකිස්තාන නාවික හමුදා යාත්‍රාවක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නවදිල්ලියේ සිටින පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා අද (16) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා ඇති අතර, පාකිස්තාන නාවික හමුදා ඒකකවල හැසිරීම “පිළිගත නොහැකි සහ වෘත්තීයමය නොවන” බවට ඉන්දීය රජය චෝදනා කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (MEA) ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිදුවූ මෙම අනතුරින් විශාල හානියක් සිදුව නොමැති නමුත්, පාකිස්තාන නාවික යාත්‍රාවේ හැසිරීම 1991 අප්‍රේල් මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර අත්සන් කළ “හමුදා අභ්‍යාස, මෙහෙයුම් සහ හමුදා සංචලන පිළිබඳ පූර්ව දැනුම්දීමේ ගිවිසුමේ” 10 වැනි වගන්තියට සෘජුවම පටහැනි බවයි.
පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස්වරයාට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාකිස්තාන බලධාරීන් දැනුවත් කරන ලෙසත්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා සියලුම හමුදා ඒකක මුහුදේදී අවශ්‍ය පරිදි සැලකිල්ලෙන් කටයුතු කරමින් දෙරට අතර පවතින අදාළ ගිවිසුම්වල විධිවිධානවලට ගරු කළ යුතු බවත් දන්වා ඇත.
එමෙන්ම, ඉස්ලාමාබාද්හි සිටින ඉන්දීය වැඩබලන මහ කොමසාරිස්වරයාටද පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මේ සම්බන්ධයෙන් සමාන විරෝධයක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර නාවික යාත්‍රා අරාබි මුහුදේදී ආසන්නව ගමන් කිරීම හෝ ගැටීම සම්බන්ධයෙන් මීට පෙරද සිදුවීම් වාර්තා වී තිබේ.
2011 වසරේදී MV Suez සිද්ධිය සම්බන්ධයෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මතභේදයක් ඇති විය. එවකට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් නිර්මල් වර්මා ප්‍රකාශ කර තිබුණේ පාකිස්තාන නාවික යාත්‍රාවක් වන PNS Babur ඉන්දීය නාවික යාත්‍රාවක් වන INS Godavari වෙත ආරක්ෂිතව සැලකිය හැකි දුරට වඩා බොහෝ ආසන්නයෙන් පැමිණ එහි හෙලිකොප්ටර් ආරක්ෂක දැලකට හානි සිදු කළ බවයි.
එම අවස්ථාවේදී ඉන්දීය නාවික කාර්ය මණ්ඩලය “ඉතා වෘත්තීයමය ලෙස” කටයුතු කළ බවද අද්මිරාල් වර්මා සඳහන් කර තිබූ අතර, මුහුදේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් පැහැදිලි නීති පවතින බවද අවධාරණය කර තිබිණි.
1991 වසරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති කරගත් ගිවිසුම මඟින් ප්‍රධාන හමුදා අභ්‍යාස, මෙහෙයුම් සහ හමුදා සංචලන සම්බන්ධයෙන් දෙරට අතර පූර්ව දැනුම්දීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කර තිබේ.
එම ගිවිසුම යටතේ දෙරටේ භූමි, නාවික සහ ගුවන් හමුදා එකිනෙකාට ආසන්න ප්‍රදේශවලදී විශාල පරිමාණයේ හමුදා අභ්‍යාස පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුය.
එවැනි අභ්‍යාස නිශ්චිත ප්‍රදේශ තුළ සිදුකරන්නේ නම්, ප්‍රධාන හමුදා බලකා අනෙක් පාර්ශ්වය දෙසට යොමු නොකළ යුතු අතර, අනෙක් පාර්ශ්වයට ආසන්න ප්‍රදේශවලට සැලකිය යුතු හමුදා හෝ සැපයුම් බලමුලු ගැන්වීමක්ද සිදු නොකළ යුතු බව එම ගිවිසුමෙන් නියම කර ඇත.