
යේමනයේ මෝකා වරාය නගරයේ බලය හූති කැරලිකරුවන් අතට පත්වීමත් සමඟ එරට පවතින දරුණු ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත.
මේ හේතුවෙන් සිය ගණනක් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂාව පතා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.
ඉරානයේ සහාය ලබන හූති කැරලි කරුවන් සහ සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා අතර පවතින ගැටුම් මධ්‍යයේ මෙම නව හමුදා මෙහෙයුම සිදුව තිබේ.
මෝකා නගරයේ පිටත ප්‍රදේශවල දරුණු සටන් පැවති බව වාර්තා වේ.
මෝකා නගරයෙන් පලා ගිය කාන්තාවන් සහ ළමුන් සෞදි අරාබි සහාය ලබන රජයේ පාලනය යටතේ පවතින ලහීජ් සහ ඒඩන් පළාත්වල ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කර ඇති බව වාර්තා වේ.
ගැටුම් තීව්ර වීමත් සමඟ ටයිස් සහ අල්-හොදෙයිඩා පළාත්වල දැනටමත් බරපතළ වී ඇති මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වීමේ අවදානමක් පවතී.
පසුගිය සති දෙකක කාලය තුළ පමණක් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 20,000කට අධික පිරිසක් අවතැන් වී ඇති බව සඳහන් වේ.
මෝකා නගරය හූති කැරලිකරුවන් අතට පත්වීම, රජයට පක්ෂපාතී ආරක්ෂක බලකායන්ගේ ආරක්ෂක දුර්වලතා හෙළි කළ දැවැන්ත හූති හමුදා මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සැලකේ.
අල්-ෂලාෆිට අනුව, සැප්තැම්බර් 3 වැනිදා සිට හූති හමුදා ප්‍රධාන පෙරමුණු තුනක් ඔස්සේ රජයේ හමුදාවන්ට දැඩි පීඩනයක් එල්ල කර තිබේ.
එම ප්‍රහාරක පෙරමුණු වූයේ බටහිර ටයිස්, දකුණු හොදෙයිඩා සහ මෝකා නගරයයි.
කෙසේ වෙතත්, මෝකා නගරය හූති පාලනයට පත්වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ රජයට සහාය දක්වන ජාතික ප්‍රතිරෝධ බලකාය (National Resistance Forces) සටන් බිමෙන් ඉවත් වීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටාරෙක් සාලේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ජාතික ප්‍රතිරෝධ බලකාය, සෞදි අරාබියේ සහාය ලබන සන්ධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යේමන රජයට පක්ෂපාතී හමුදා බලකායන්ගේ ප්‍රධාන කොටසකි.
මෝකා නගරය හූතිවරුන් අතට පත්වීමත් සමඟ යේමනයේ පවතින දේශපාලන හා මානුෂීය අර්බුදය තවදුරටත් සංකීර්ණ වීමේ අවදානමක් මතුව තිබේ.