
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා හයකට දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් අනතුරුව ඒවා නතර කිරීමට කටයුතු කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. IRGC නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන්ගේ උපදෙස් නොතකා ගමන් කළ නෞකා මුලික අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් නැංගුරම් දැමීමට නියෝග කළ බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ “සම්පූර්ණ පාලනය” තමන් සතුව ඇති බවත්ය. මේ අතර, ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජික අලාඋද්දීන් බොරූජර්දි ප්‍රකාශ කළේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම ඉරානයේ පාලනය යටතේ පවතින බවත්, එය ඉදිරියටත් එලෙසම පවතිනු ඇති බවත්ය. “හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය ඉතා පැහැදිලියි. මෙම උපායමාර්ගික ජල මාර්ගය ඉස්ලාමීය ජනරජයේ පාලනය යටතේ තිබූ අතර, එය සදාකාලිකවම එලෙසම පවතිනු ඇත,” යැයි ඔහු රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. එමෙන්ම, බාබ් අල්-මන්ඩබ් සමුද්‍ර සන්ධිය යේමනයේ පාලනය යටතේ පවතින බවත්, එහි සිදුවන ක්‍රියාකාරකම් යේමනය සහ සෞදි අරාබිය අතර පවතින ගැටුමේ පසුබිම තුළ සලකා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා.