
කළු මුහුද (Black Sea) හරහා ගමන් කරන හෝ එම ප්‍රදේශයේ වාණිජ නෞකා සේවාවල රැකියා භාරගැනීමට පෙර වඩාත් සැළකිලිමත් වන ලෙස දන්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය (Ministry of External Affairs) ඉන්දීයානුවන්ට නව සංචාරක හා ආරක්ෂක උපදේශනයක් නිකුත් කර තිබෙනවා. රුසියා–යුක්රේන යුද්ධය හේතුවෙන් කළු මුහුද හා ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශවල ආරක්ෂක තත්ත්වය දැඩි අවදානම් මට්ටමක පවතින බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. එම නිසා එම ප්‍රදේශයේ ගමන් කරන හෝ මෙහෙයුම්වල යෙදෙන වාණිජ නෞකා මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරවලට නිරන්තරයෙන් ලක්වීමේ අවදානමක් පවතින බවද ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා. මෙම උපදේශනය නිකුත් කර ඇත්තේ යුක්රේනයේ ඔඩෙසා (Odesa) වරායේදී ඉන්දීය ජාතිකයන් සිව්දෙනෙකු සිටි වාණිජ නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් අනතුරුවය. කියෙව්හි ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ එම නෞකාවේ සිටි ඉන්දීය නාවිකයන් දෙදෙනෙකු ආරක්ෂිතව සිටින බව තහවුරු වී ඇති අතර, අනෙක් දෙදෙනාගේ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු තවදුරටත් සොයා බලමින් සිටින බවයි. 2026 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කළු මුහුද ආශ්රිත ගැටුම් හේතුවෙන් ඉන්දීය ජාතික නාවිකයන් පස්දෙනෙකු මියගොස් ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කළා. “කළු මුහුද හා ඒ ආශ්රිත මුහුදු ප්‍රදේශවල ආරක්ෂක තත්ත්වය තවදුරටත් ඉතාමත් අස්ථාවර තත්ත්වයක පවතිනවා... මෙම මුහුදු මාර්ග ඔස්සේ ගමන් කරන වාණිජ නෞකා මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර ඇතුළු බරපතළ ආරක්ෂක අවදානම්වලට මුහුණ දෙමින් සිටී,” යැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගිය ජූලි 18 වැනිදා කළු මුහුද හරහා ගමන් කරමින් තිබූ MV Omorfi නෞකාවට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා. එය සතියක් ඇතුළත ඉන්දීය නාවිකයන් සිටි නෞකාවකට එල්ල වූ දෙවැනි ප්‍රහාරය වූ අතර, රුසියා–යුක්රේන ගැටුම ආරම්භයෙන් පසු මියගිය ඉන්දීය නාවිකයන්ගේ සංඛ්‍යාව පස්දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. එම මුහුදු ප්‍රදේශයේ නාවික රැකියා භාරගැනීමට පෙර නෞකාවේ ගමන් මාර්ග, ආරක්ෂක සැලසුම්, රක්ෂණ ආවරණ, හදිසි අවස්ථා කළමනාකරණ ක්‍රියාමාර්ග සහ සේවා කොන්දේසි සවිස්තරාත්මකව පරීක්ෂා කරන ලෙසද අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා. තවද, ජාත්‍යන්තර නාවික ප්‍රමිතීන්ට අනුකූල සේවා ගිවිසුම් පමණක් භාරගැනීමටත්, හදිසි අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර, ඉවත් කිරීම (Evacuation), මව්රටට යළි ගෙන්වීම (Repatriation) සහ වන්දි ගෙවීම් සඳහා ප්‍රමාණවත් විධිවිධාන ඇතුළත් වී ඇති බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දෙනවා. නාවිකයන් සිය ගමන් සැලසුම් පිළිබඳව තම පවුලේ සාමාජිකයන් දැනුවත් කරමින් නිරන්තර සම්බන්ධතාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යාංශය අවධාරණය කරනවා. එසේම, ඉන්දීය නාවික පරිපාලන අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව (Directorate General of Maritime Administration), ඉන්දීය රජයේ අනෙකුත් අදාළ ආයතන, නෞකා ක්‍රියාකරුවන් සහ අදාළ සමුද්‍රීය බලධාරීන් නිකුත් කරන සියලු ආරක්ෂක උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කරන ලෙසද ඉන්දීය නාවිකයින්ට දැනුම් දී තිබෙනවා. යම් හදිසි අවස්ථාවක සහාය අවශ්‍ය වන්නේ නම්, අදාළ කලාපයේ ඉන්දීය තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල සමඟ හදිසි දුරකථන අංක ඔස්සේ සම්බන්ධව සිටින ලෙසද විදේශ කටයුතු අමාත්‍යාංශය සිය අලුත්ම සංචාරක හා ආරක්ෂක උපදේශනයෙන් අවධාරණය කර තිබෙනවා.