
සෞදි අරාබියට සහ යේමනයේ හූති විරෝධී පාර්ශ්වයන්ට එරෙහිව හූති සටන්කාමීන් විසින් එල්ල කරනු ලබන ප්රහාර වඩාත් ප්රබල හා සංකීර්ණ තත්ත්වයකට පත්වීමට ඉරානයේ සහාය හේතු වී ඇති බව වෝල් ස්ට්රීට් ජර්නල් (The Wall Street Journal) පුවත්පත වාර්තා කරනවා.
සෞදි අරාබියෙන් සහ යේමනයේ හූති විරෝධී සන්ධානයෙන් ලැබුණු බුද්ධි තොරතුරු පිළිබඳව දැනුවත් පුද්ගලයන් උපුටා දක්වමින් එම වාර්තාව පළ කර ඇත.
ඉරානයෙන් ලැබෙන සහාය හේතුවෙන් යේමනයේ රතු මුහුදු වෙරළබඩ ප්රදේශවල භූමි ප්රදේශ අත්පත් කර ගැනීමට හූතිවරුන්ට හැකි වී ඇති අතර, සෞදි අරාබියේ තෙල් පහසුකම් සහ ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්රහාර එල්ල කිරීමේ හැකියාව ද වර්ධනය වී ඇති බව වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත්, යේමනයේ අභ්යන්තර කටයුතුවලට මැදිහත් වන බවට එල්ල වන චෝදනා ඉරානය ප්රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර හූතිවරුන් “සම්පූර්ණයෙන්ම ස්වාධීනව ක්රියා කරන පාර්ශ්වයක්” බව ඉරානය පවසනවා.
මේ අතර සෞදි අරාබියේ නජ්රාන් ප්රදේශයේදී ඇපාචි (Apache) ප්රහාරක හෙලිකොප්ටරයක් බිම හෙළූ බවට හූතිවරුන් කළ ප්රකාශයට යේමනයේ සටන් වදින සෞදි නායකත්වයෙන් යුත් සන්ධානයේ ප්රකාශක තුර්කි අල්-මලිකි ප්රතිචාර දක්වා තිබෙනවා.
ඔහු සිය සමාජ මාධ්ය ගිණුමේ හෙලිකොප්ටර් කිහිපයක් ගුවන් ධාවන පථයක නවතා තිබෙන ඡායාරූපයක් පළ කරමින් මෙසේ සඳහන් කර ඇත.
“ඇය ඉක්මනින්ම මෙහෙයුම් ක්ෂේත්රයට පැමිණෙනු ඇත. ඇයගේ පෙනුම හොඳින් මතක තබා ගන්න.... එවිට ඔබට ඇයව අමතක නොවනු ඇත.”
අල්-මලිකිගේ මෙම ප්රකාශය නිකුත් වූයේ නජ්රාන් ප්රදේශයේදී සන්ධානයට අයත් AH-6i වර්ගයේ ඔත්තු බැලීමේ හෙලිකොප්ටරයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව කඩා වැටුණු බව ඔහු මීට පෙර ප්රකාශ කිරීමෙන් අනතුරුවය.
එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු මියගිය බව ද අල්-මලිකි සඳහන් කර ඇත.