
ඉන්දියාවේ මැතිවරණ ප්රතිසංස්කරණ ඉල්ලා පැවති විරෝධතාවකට එක්වීම හේතුවෙන් බොලිවුඩ් නළු ඉම්රාන් ඛාන්ට ඔක්තෝබර් 28 වැනිදාට පෙර ඉන්දියාවෙන් පිටව යන ලෙස එරට බලධාරීන් නියෝග කර තිබේ.
අමෙරිකානු පුරවැසිභාවය හිමි ඉම්රාන් ඛාන්, බොලිවුඩ් සුපිරි නළු අමීර් ඛාන්ගේ ඥාති පුත්රයෙකි.
ඔහු ඉන්දීය සම්භවයක් සහිත විදේශිකයන්ට ඉන්දියාවේ සංචාරය කිරීමට සහ එහි රැඳී සිටීමට අවසර ලබාදෙන විදේශීය ඉන්දීය පුරවැසි (OCI) කාඩ්පතක් හිමි පුද්ගලයෙකු වුවද, එම කාඩ්පත මඟින් ඡන්දය ප්රකාශ කිරීමට හෝ මැතිවරණයකට ඉදිරිපත් වීමට අවසර හිමි නොවේ.
ඉන්දීය පොලිසිය බ්රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ප්රධාන මැතිවරණ කොමසාරිස් ග්යානේෂ් කුමාර්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා මුම්බායිහි අගෝස්තු ක්රාන්ති මයිදාන් භූමියේ පැවති විරෝධතාවට ඉම්රාන් ඛාන් සහභාගි වූ බවයි.
විරෝධතාවට සහභාගි වීමෙන් නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් විදේශිකයන්ගේ ප්රාදේශීය ලියාපදිංචි කිරීමේ කාර්යාලය (FRRO) ඔහුට රටින් පිටව යන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, නළුවාගේ නීතිඥවරයා පවසා ඇත්තේ OCI කාඩ්පත් හිමියන්ට විරෝධතාවලට සහභාගි වීම තහනම් කරන නීතිමය විධිවිධානයක් හෝ රීතියක් නොමැති බවයි.
අදාළ නියෝගයට එරෙහිව බොම්බේ මහාධිකරණය හමුවේ අභියෝග කිරීමට ද නළුවා සූදානම් වන බව ඔහු සඳහන් කර ඇත.
පීටීඅයි පුවත් සේවය වාර්තා කරන පරිදි, මුම්බායි පොලිසිය නිකුත් කළ දැනුම්දීම අභියෝගයට ලක් කරමින් ඉම්රාන් ඛාන් ඉදිරිපත් කළ පෙත්සමේ එම පියවර 'දැඩි ක්රියාමාර්ගයක්' ලෙස හඳුන්වා තිබේ.
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා, මැතිවරණ ප්රතිසංස්කරණ සහ ප්රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා පැවති විරෝධතාවකට ඉම්රාන් ඛාන් සහභාගි වී තිබේ.
'කොක්රෝච් ජනතා පක්ෂය' (CJP) විසින් කැඳවා තිබූ මෙම විරෝධතා මාලාවට තරුණ පරපුරේ විශාල පිරිසක් එක්ව සිටි.
ඉන්දීය මැතිවරණවලදී ඡන්ද වංචා සිදුවූ බවට එල්ල වන චෝදනා හේතුවෙන් මෙම විරෝධතා පැවැත්වෙන අතර, එම චෝදනා ඉන්දීය මැතිවරණ කොමිසම ප්රතික්ෂේප කරයි.
“ඉම්රාන් ඛාන් ඉන්දීය පුරවැසියෙකු නොවූවද විරෝධතාවට සහභාගි වී තිබේ” යනුවෙන් පොලිසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත.
ඉම්රාන් ඛාන්ට එරෙහි පැමිණිල්ල ගොනු කර ඇත්තේ ඉන්දියාවේ සහ මහාරාෂ්ට්ර ප්රාන්තයේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායක කිරිත් සෝමයියා විසිනි.
ඉන්දියාව තුළ අරාජිකත්වයක් ඇති කිරීමේ කුමන්ත්රණයකට නළුවා සම්බන්ධ බවට ඔහු චෝදනා කර තිබේ.
එම චෝදනාවට සෘජුව පිළිතුරු නොදුන් ඉම්රාන් ඛාන්, විරෝධතාවට සහභාගි වීම පිළිබඳව මාධ්යවේදීන් අමතමින් අදහස් පළ කර තිබිණි.
“මට විශේෂ ඉල්ලීම් කිසිවක් නැහැ. මම මෙහි සිටින්නේ මේ නගරයේ ජීවත් වන පුද්ගලයෙකු සහ පුරවැසියෙකු ලෙසයි... ජනතාවගේ නිදහසේ ගමන් කිරීම සීමා කරන්නේ ඇයි, ඔවුන්ගේ හඬ යටපත් කරන්නේ ඇයි කියා දැනගැනීමට මට අවශ්යයි” යනුවෙන් ඔහු ප්රකාශ කර ඇත.
තමා කිසිදු සංවිධානයක් නියෝජනය කරමින් විරෝධතාවට එක් නොවූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
විරෝධතාව අතරතුර ඉම්රාන් ඛාන් ඇතුළු පිරිසක් පොලිසිය විසින් කෙටි කාලයකට අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ඔහු පොලිස් රැඳවුම් රථය තුළ සිටින ඡායාරූපයක් ඉන්ස්ටග්රෑම් සමාජ මාධ්ය ජාලයට එක්කරමින්, “පෙනෙන විදිහට මම පොඩි ගමනක් යනවා” යනුවෙන් සටහනක් තබා තිබිණි. එම සටහනට මිලියන දෙකකට අධික කැමැත්ත පළකර තිබේ.
2008 වසරේ තිරගත වූ ජනප්රිය ආදර හාස්ය චිත්රපටයක් වන Jaane Tu... Ya Jaane Na හරහා ප්රසිද්ධියට පත් ඉම්රාන් ඛාන්, 1988 වසරේ Qayamat Se Qayamat Tak සහ 1992 වසරේ Jo Jeeta Wohi Sikandar වැනි චිත්රපටවල ළමා නළුවෙකු ලෙස ද රංගනයෙන් දායක වී තිබේ.
වසර දහයකට වැඩි කාලයක් රංගනයෙන් ඈත්ව සිටි ඔහු, Adhure Hum Adhure Tum නමැති නෙට්ෆ්ලික්ස් චිත්රපටය සමඟ මේ වසරේදී යළි රංගනයට පිවිසීමට නියමිතව සිටියදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ.