
ගෑස් නළයකට හෝ ගෑස් ළිඳකට හානි සිදුවීමක් හේතුවෙන් ගින්න හටගත් බවට වාර්තා
කැනඩාවේ ඇල්බර්ටා (Alberta) ප්රාන්තයේ පිහිටි හමුදා කඳවුරක් ආසන්නයේ හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයන් කිහිපදෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව කැනේඩියානු හමුදා බලධාරීන් පවසනවා.
සිද්ධියෙන් සිදුවූ හානියේ සම්පූර්ණ තත්ත්වය මේ වන විට තක්සේරු කරමින් පවතින බවත්, එම කටයුතු අවසන් වන තෙක් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ සවිස්තර තොරතුරු ප්රසිද්ධ නොකරන බවත් කැනඩා බලධාරීන් ප්රකාශ කරනවා.
කැනේඩියානු හමුදාවේ ප්රධාන පුහුණු කඳවුරක් වන වයින්රයිට් කැනේඩියානු හමුදා කඳවුරේ (Canadian Forces Base Wainwright) එරට වේලාවෙන් ඊයේ (17) පස්වරු 4.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
සජීවී උණ්ඩ යොදා සිදුකළ හමුදා පුහුණු අභ්යාසයක් අතරතුර ගෑස් නළයකට හෝ ගෑස් ළිඳකට හානි සිදුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව නිල නොවන වාර්තා සඳහන් කරනවා.
එම වාර්තාවට අනුව පුද්ගලයන් අවම වශයෙන් හත්දෙනකු මියගොස් තවත් සැළකිය යුතු පිරිසක් තුවාල ලබා තිබෙන බව සඳහන්.
කැනේඩියානු ආරක්ෂක අමාත්ය ඩේවිඩ් මැක්ගින්ටි ප්රකාශ කළේ හමුදාව සහ ප්රාදේශීය බලධාරීන් එක්ව ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරන බවයි.
මේ අතර, එඩ්මන්ටන් නගරයේ පිහිටි රෝයල් ඇලෙක්සැන්ඩ්රා රෝහල (Royal Alexandra Hospital) විසින් විශාල පිරිසකට ප්රතිකාර ලබාදීමේ අවශ්යතාව සැලකිල්ලට ගනිමින් ‘කෝඩ් ඔරේන්ජ්’ (Code Orange) හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති බව කැනේඩියානු ගුවන්විදුලි සංස්ථාව (CBC) වාර්තා කළා.
එම රෝහලේ හදිසි ප්රතිකාර අංශයේ වෛද්ය වොරන් තර්ස්ක් සඳහන් කළේ, මෙතරම් විශාල රෝගීන් සංඛ්යාවක් එකවර පැමිණීම එඩ්මන්ටන් ප්රදේශයේ සෞඛ්ය සේවා පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කළ හැකි බවයි.
“දැනට අපට ගණන් කිරීමට සිදුවන රෝගීන් සංඛ්යාව අප කිසිවකුටත් අවශ්ය එකක් නොවේ. මෙය ව්යසනයක්. වසර 15ත් 25ත් අතර කාලයකට වරක් පමණ සිදුවිය හැකි ආකාරයේ විශාල අනතුරක්,” යැයි ඔහු පවසා තිබෙනවා.
ගින්න හටගැනීමෙන් අනතුරුව ප්රදේශයේ පැවති දැඩි සුළං හේතුවෙන් එය වේගයෙන් පැතිර ගොස් කඳවුරේ ආරක්ෂක වැටවල් ද පසුකර ගිය බව වයින්රයිට් ප්රාදේශීය පරිපාලන බලධාරීහු සඳහන් කළේ.
කෙසේ වෙතත්, ප්රාදේශීය බලධාරීන්ට අනුව ගිනි නිවීමේ කණ්ඩායම් ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා.
එහෙත් අනතුරෙන් සිදුවූ සමස්ත හානිය පිළිබඳ නිල තොරතුරු මෙතෙක් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැත.