
ගොඩනැගිලි ගිනි තබයි - වෙළෙඳසල් කොල්ලකයි
ප්රංශයේ පාසල් පද්ධතියේ පවතින ගැටලු, ගුරු හිඟය සහ ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව පැවැත්වෙන විරෝධතා අතරතුර රට පුරා ප්රචණ්ඩකාරී සිදුවීම් රැසක් වාර්තා වී ඇති අතර, එහිදී පුද්ගලයන් 1,200කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පැවැති විරෝධතාවලට පුද්ගලයන් 550,000ක පමණ පිරිසක් එක්ව සිටි බව වාර්තා වන අතර, ප්රංශ රජය මෙම තත්ත්වය හැඳින්වූයේ ප්රචණ්ඩත්වය උත්සන්න වීමක් ලෙසිනි.
පැරිස් අගනුවර ඇතුළු නගර රැසක විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුම් හටගෙන තිබෙනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර ඇත.
විරෝධතා අතරතුර ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ඇති අතර, වෙළෙඳසල් කොල්ලකෑම් සහ රාජ්ය ආයතනවලට හානි සිදුකිරීම් ද වාර්තා වී තිබෙනවා.
ලිමෝජ් නගරයේ නගර සභා ගොඩනැගිල්ලේ ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් එහි වහලයේ කොටසක් ද කඩා වැටී ඇත.
ප්රංශ අග්රාමාත්ය සෙබස්තියන් ලෙකෝර්නු ප්රකාශ කර ඇත්තේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන් 150 දෙනකු තුවාල ලබා ඇති බවයි.
පැරිස් නුවර ප්රධාන විරෝධතා පෙළපාළිය ආරම්භයේදී සාමකාමීව පැවැති නමුත්, සවස් කාලය වන විට තත්ත්වය වෙනස් වී ඇත.
ඇතැම් කණ්ඩායම් මාර්ගවල ගිනි තැබීම් සිදුකර ඇති අතර, වාහන කිහිපයකට ද ගිනි තබා ඇති බව සඳහන්.
නගර මධ්යයේ පිහිටි ප්ලාස් ද ලා රිපබ්ලික් (Place de la République) ප්රදේශයේ ද මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.
වෙළෙඳසල් කොල්ලකා ඇති අතර, අවන්හලකට ද ගින්නෙන් දැඩි හානි සිදුව ඇත.
කැරලි මර්දන පොලිසිය විරෝධතාකරුවන් පිරිසක් වෙත කඩා වැදී බැටන් ප්රහාර එල්ල කරන ආකාරය ද දක්නට ලැබුණු බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, විරෝධතාවලට එක්ව සිටි තරුණයන් පිරිසක් තමන් සාමකාමී විරෝධතාකරුවන් බවත්, රටේ වෙනසක් ඇති කිරීමට උත්සාහ කළ ද කිසිදු ප්රගතියක් දක්නට නොලැබෙන බවත් ප්රකාශ කර තිබෙනවා.
ලියොන් නුවර සංචාරක තොරතුරු කාර්යාලය ගිනි ගැනීම සම්බන්ධයෙන් එම නගරයේ නගරාධිපති ග්රෙගරි දූසේ දැඩි ලෙස කනගාටුව පළ කර ඇත.
එම ගොඩනැගිල්ල නගරයේ ප්රකට ඓතිහාසික ස්ථානයක් බව ඔහු සඳහන් කරනවා.
ගින්න මැඩපැවැත්වීමට පැමිණි ගිනි නිවන භටයන්ට ආරක්ෂිතව රාජකාරි කිරීමට ඇතැම් විරෝධතාකරුවන් ඉඩ නොදුන් බව ප්රාදේශීය පොලිසිය පවසනවා.
මේ අතර, සාන්ත එතියෙන් නගරයේදී කුඩා පුපුරණ ද්රව්යයක් පිපිරීමෙන් තරුණයකුගේ අතකට බරපතළ ලෙස හානි වී ඇති බව නගරාධිපති රෙජිස් ජුවානිකෝ ප්රකාශ කර තිබෙනවා.
පැරිස්, මාර්සෙයි, රෙන්, ටූලූස් සහ ආන්ජේ ඇතුළු නගර කිහිපයක ප්රචණ්ඩ ක්රියා වාර්තා වී ඇති අතර, ග්රෙනොබ්ල්, ඇවිඤ්ඤොන්, පෝ, මොන්පෙලියේ සහ වැලන්ස් යන ප්රදේශවල ද ගොඩනැගිලිවලට හානි සිදුව ඇත.
පැරිස් නුවර ඇඳුම් සහ ආහාර අලෙවිසල් කොල්ලකා ඇති අතර, ලිල් නගරයේ ඇපල් වෙළෙඳසලකට කඩා වැදුණු පිරිසක් එහි භාණ්ඩ රැගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.