
ඉරානය සමඟ පවතින යුද්ධය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසුව අවසන් වීමට ඉඩ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එම කාලය දක්වා ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ද පහළ නොයනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.
ඊයේ (09) ටෙක්සාස් ප්‍රාන්තය බලා යමින් සිටියදී මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ, ඉරානයට තවදුරටත් යුද්ධය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් මැතිවරණයෙන් අනතුරුව යුද්ධය අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
“මැතිවරණයෙන් පසුව වහාම යුද්ධය අවසන් වනු ඇතැයි මම සිතනවා. ඔවුන්ට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇතැයි මම සිතනවා,” යනුවෙන් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
නොවැම්බර් මධ්‍යවාර මැතිවරණය ඇමෙරිකානු කොංග්‍රසයේ බලතුලනයට ද බලපෑම් කළ හැකි අතර, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තුළින්ම ඉරාන යුද්ධය අවසන් කරන ලෙස ඔහුට වැඩි පීඩනයක් එල්ල වෙමින් පවතී.
මේ අතර, ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ද පහළ යමින් තිබෙන බව මත විමසුම් පෙන්වා දෙනවා.
යුද්ධය අවසන් වන තෙක් තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව ද ට්‍රම්ප් පැවසීය.
“මැතිවරණයෙන් පසුව තෙල් මිල වේගයෙන් පහළ යනු ඇතැයි මම සිතනවා. නමුත් ඒ සඳහා මධ්‍යවාර මැතිවරණය දක්වා යම් කාලයක් ගත විය හැකියි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
මේ අතර, ඉරානය ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයට බලපෑම් කිරීමට උත්සාහ කරමින් සිටින බවට ද ට්‍රම්ප් චෝදනා කළේය.
එමඟින් ඇමෙරිකාවට “දුර්වල පිරිසක්” බලයට පත් කර, ඉරානයට සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ඉදිරියට ගෙන යාමට ඉඩ සැලසීමට ඔවුන් උත්සාහ කරන බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ටෙහෙරානය විසින් නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරානය සමඟ යළි සාකච්ඡා පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදී ට්‍රම්ප් පැවසුවේ එවැනි සාකච්ඡා සිදුවිය හැකි නමුත්, මේ මොහොතේ ඒ පිළිබඳව තම පාර්ශ්වය අවධානය යොමු කර නොමැති බවයි.
මාස හතකට ආසන්න කාලයක් පවතින මෙම ගැටුම සති කිහිපයක් තුළ අවසන් වනු ඇතැයි ට්‍රම්ප් මීට පෙර අනාවැකි පළ කර තිබුණි.
එහෙත් යුද්ධය දිග්ගැස්සීමත් සමඟ ඉන්ධන මිලේ සිට ආහාර ද්‍රව්‍ය මිල දක්වා ඇමෙරිකානු ජනතාවගේ දෛනික වියදම් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
එය ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පහළ යාමට ද හේතු වී ඇත.
මැදපෙරදිග කලාපයේ සටන් තීව්ර වීමත් සමඟ කලාපයේ තෙල් පහසුකම් කිහිපයකට ප්‍රහාර එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඊයේ (09-බදාදා) ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැරලයකට ඩොලර් 100 දක්වා ඉහළ ගියේය.
එය පසුගිය ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටමයි.
ඇමෙරිකානු හමුදාව බදාදා ඉරානයට සම්බන්ධ බව කියන තෙල් ප්‍රවාහන නෞකා පහකට ප්‍රහාර එල්ල කළ බව නිවේදනය කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඇමෙරිකානු නාවික හමුදාවේ විනාශකාරී නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.