
ඇමරිකානු හමුදාව ඊයේ (01) ඉරානයට එරෙහිව නැවත ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඉරානය ජෝර්දානයේ සහ ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ ජෝර්දාන ආරක්ෂක හමුදාව පවසනවා.
ඉරානයේ දකුණු ප්‍රදේශයේ පිහිටි සිරීක් නගරයේ නිවසක පැවැති විවාහ උත්සවයක් අතරතුර ඇමරිකානු මිසයිල ප්‍රහාරයකින් විසිරුණු කැබලි වැදීමෙන් පුද්ගලයන් සිව්දෙනකු මියගොස් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන රතු අඩසඳ සංවිධානය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, ඇමරිකානු මධ්‍යම හමුදා අණදෙන මූලස්ථානය (CENTCOM) ප්‍රකාශ කළේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකා වෙත ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් මෑතකදී එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ IRGC ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
ඇමරිකානු ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් IRGC ප්‍රකාශ කළේ ඇමරිකාවට මෙම ප්‍රහාර පිළිබඳව “පසුතැවීමට සිදුවනු ඇති” බවයි.
ඉරානයේ අර්ධ රාජ්‍ය ප්රවෘත්ති සේවාවක් වන Tasnim වාර්තා කළේ, සිරීක් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජෝර්දානයේ අකාබා ප්‍රදේශයේ පිහිටි ඇමරිකානු මැරීන් හමුදා කඳවුරක් වෙත ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවයි.
ජෝර්දාන සන්නද්ධ හමුදා ප්‍රකාශ කළේ ඉරානයෙන් එල්ල වූ බැලස්ටික් මිසයිල 13ක් හඳුනාගෙන ඒවා ග්රහනයට ගැනීමට හෝ විනාශ කිරීමට හැකි වූ බවයි.
ඉන් මිසයිල 10ක් විනාශ කර ඇති අතර, ඉතිරි මිසයිල තුන දුරස්ථ ප්‍රදේශවලට පතිත වී ඇතැයි හමුදා බලධාරීන් පැවසුවා.
ගුවනින් කැබලි හෝ සුන්බුන් වැටීමේ අවදානමක් ඇති බැවින් අකාබා සහ මෆ්රාක් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ජෝර්දානයේ ජාතික ආරක්ෂක මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ අතර, පසුව එම අනතුරු ඇඟවීම ඉවත්කර තිබෙනවා.
මේ අතර, කුවේට් හමුදාව ප්‍රකාශ කළේ බදාදා අලුයම ඉරානයෙන් එල්ල වූ
මිසයිල ප්‍රහාරවලට එරෙහිව එරට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මකවූ
බවයි.
බහරේනයේ ද ප්‍රහාර කිහිපයක් සිදුවීමෙන් අනතුරුව පිපිරීම් කිහිපයක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා.
නවතම ඇමරිකානු ප්‍රහාර ගැන නිවේදනය කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර සිටියා.
ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කළහොත්, “වඩාත් දැඩි හා ඉහළ මට්ටමේ” ප්‍රහාර එල්ල කරන බවට ඔහු අනතුරු අඟවා සිටියා.
ඉරානය සහ ඇමරිකාව අතර මෙම ගැටුම හේතුවෙන් මැද පෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති අතර, කලාපයේ ඇමරිකානු හමුදා කඳවුරු සහ වාණිජ නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමුව තිබෙනවා.