
ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂය ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නවතම සංඛ්‍යාලේඛන අනුව ජපානයේ ශතවර්ෂය ඉක්මවූ පුද්ගලයන් 107,677 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් සියයට 88ක් පමණ කාන්තාවන් වේ.
මෙය ලොව රටක් තුළ වාර්තා වී ඇති ඉහළම ශතවර්ෂික ජනගහනය ලෙස සැලකේ.
ජපානයේ වයස්ගතම කාන්තාව ලෙස කියෝතෝ නගරයේ පදිංචි 114 හැවිරිදි කිෂිමොටෝ ෆුයෝ හඳුනාගෙන ඇති අතර, වයස්ගතම පිරිමියා ලෙස කුමමොටෝ ප්‍රාන්තයේ 112 හැවිරිදි කාටෝ හිකාර හඳුනාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙන්චිරෝ උඑනෝ පැවසුවේ මෙතරම් පිරිසක් දිගු, සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවිත ගත කිරීම පිළිබඳව තමන් සතුටු වන බවයි.
වෛද්‍ය විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව දීර්ඝායුෂ සඳහා බලපා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එහෙත් ජනගහනය වේගයෙන් වයස්ගත වීම හමුවේ රටේ සමාජ ආරක්ෂණ පද්ධතිය දිගුකාලීනව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අභියෝග මතුවෙමින් පවතින බවද අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
දීර්ඝායුෂට බලපාන ජීවන රටාව
ජපාන ජනතාවගේ දිගු ආයු කාලයට හේතු ලෙස විශේෂඥයෝ කරුණු කිහිපයක් පෙන්වා දෙති.
ඒ අතර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ප්‍රධාන වේ.
ජපාන ආහාර සංස්කෘතිය තුළ මාළු, එළවළු සහ සහල් වැනි ආහාරවලට වැඩි ප්‍රමුඛතාවක් හිමි වන අතර, බටහිර රටවල සාමාන්‍ය ආහාර රටාවන්ට සාපේක්ෂව සංතෘප්ත මේදය අඩු බව විශේෂඥයෝ පවසති.
එමෙන්ම ජපානයේ වැඩිහිටි ජනතාව අතර ඇවිදීම, පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම, බයිසිකල් පැදීම සහ ශරීරය දිගහැරීමේ ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් ද සාමාන්‍ය ජීවන රටාවේ කොටසකි.
වැඩිහිටි ජනගහනය ඉහළ යද්දී උපත් අනුපාතය පහළට
ජපානය වසර ගණනාවක් තිස්සේ ජනගහනය වයස්ගත වීමේ ගැටලුවකට මුහුණ දෙමින් සිටී.
වැඩිහිටියන් සඳහා භාවිත කරන ඩයපර්වල අලෙවිය, ළදරු ඩයපර්වල අලෙවිය ඉක්මවා ගොස් දශකයකට වැඩි කාලයක් ගත වී තිබේ.
වයස්ගත ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ජපාන සමාගම් ද නව නිෂ්පාදන හඳුන්වා දෙමින් සිටිති.
ශරීරයේ විවිධ කොටස් චලනය කිරීමට සහාය වන බලගැන්වූ බාහිර අස්ථි ආධාරක පද්ධති (exoskeletons) සහ පෙනීමේ දුර අනුව ස්වයංක්‍රීයව නාභිගත වීම සකස් කරන ඇස් කණ්ණාඩි ඒ අතර වේ.
මේ අතර, ජනගහනය ස්වයංව ප්‍රතිස්ථාපනය වීමට සාමාන්‍යයෙන් එක් කාන්තාවකට දරුවන් 2 ක් පමණ ලැබිය යුතු බව ජනගහන විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එහෙත් පසුගිය වසරේ ජපානයේ සමස්ත සරුභාව අනුපාතය (Total Fertility Rate) වාර්තාගත ලෙස 1.14 දක්වා පහත වැටී තිබේ.
ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනයේ දත්ත අනුව, 2070 වන විට ජපානයේ සමස්ත ජනගහනය මිලියන 87ක් පමණ දක්වා පහත වැටිය හැකි අතර, එය 2008දී වාර්තා වූ මිලියන 128ක උපරිම ජනගහනයට සාපේක්ෂව සියයට 30ක පමණ අඩුවීමකි.
දැනට වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් ජපානයේ සමස්ත ජනගහනයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන අතර, 2070 වන විට එය සියයට 40කට ආසන්න විය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ.
ජපාන බලධාරීන් මෙම ජනගහන වෙනස “පැවැත්මටම බලපාන අර්බුදයක්” ලෙස හඳුන්වා ඇති අතර, අගමැති සනාඑ ටකායිචි එය “නිහඬ හදිසි තත්ත්වයක්” ලෙස විස්තර කර තිබේ.
උපත් වැඩි කිරීමට රජයේ උත්සාහ
තරුණ පරපුර වැඩි දරුවන් බිහි කිරීමට දිරිගැන්වීම සඳහා ජපාන රජය විවිධ වැඩසටහන් සහ සහනාධාර ක්‍රියාත්මක කර ඇතත්, ඒවා උපත් අනුපාතය ඉහළ නැංවීමට මෙතෙක් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලබා දී ඇති බවක් පෙනෙන්නට නැත.
විශේෂඥයන් පවසන්නේ මෙම තත්ත්වයට එක් හේතුවක් පමණක් නොමැති බවයි. විවාහ අනුපාතය පහළ යාම, කාන්තාවන් වැඩි වශයෙන් රැකියා වෙළෙඳපොළට එක්වීම සහ දරුවන් ඇති දැඩි කිරීමේ වියදම් ඉහළ යාම වැනි සංකීර්ණ සමාජ හා ආර්ථික සාධක ඊට බලපාන බව ඔවුහු පෙන්වා දෙති.
ජපානයට පැමිණෙන විදේශිකයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරවල ඉහළ ගොස් තිබුණද, රටේ සමස්ත ජනගහනයෙන් විදේශිකයන් නියෝජනය කරන්නේ සියයට 3ක් පමණි.
එමෙන්ම තවදුරටත් විදේශිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් රට තුළ විරෝධතා ද පවතී.
දශක හයකදී දැවැන්ත ඉහළ යාමක්
ජපානයේ ශතවර්ෂික පුද්ගලයන් පිළිබඳ නිල සමීක්ෂණය 1963දී ආරම්භ කරන විට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් සිටියේ 153 දෙනෙකු පමණි.
එම සංඛ්‍යාව 1981 වන විට 1,000 ඉක්මවා ගිය අතර, 1998 වන විට 10,000 දක්වා ඉහළ ගියේය.
වර්තමානයේ එය 100,000 සීමාවද ඉක්මවා තිබේ.
නවතම සංඛ්‍යාලේඛන නිකුත් කර ඇත්තේ ජපානයේ වාර්ෂික “වැඩිහිටියන්ට ගරු කිරීමේ දිනය”*ට පෙරය.
එදින වයස අවුරුදු 100 සම්පූර්ණ කරන පුද්ගලයන්ට රජය විසින් සුබ පැතුම් ලිපියක් සහ සාම්ප්‍රදායික සකේ පානය කිරීම සඳහා කෝප්පයක් පිරිනමනු ලැබේ.
ශතවර්ෂිකයන්ගේ සංඛ්‍යාව පිළිබඳ සැකයක්
කෙසේ වෙතත්, ලොව පුරා වයස අවුරුදු 100 ඉක්මවු පුද්ගලයන් පිළිබඳ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ අධ්‍යයන කිහිපයක් සැක පළ කර තිබේ.
දත්ත දෝෂ, විශ්වාස කළ නොහැකි පැරණි ලේඛන සහ අතුරුදන් වූ උප්පැන්න සහතික වැනි කරුණු නිසා සමහර රටවල ශතවර්ෂික ජනගහනය සැබෑ සංඛ්‍යාවට වඩා ඉහළින් පෙන්විය හැකි බව එම අධ්‍යයන පෙන්වා දෙයි.
2010දී ජපාන රජය සිදු කළ පවුල් ලේඛන විගණනයකදී, වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් ලෙස ලේඛනගත කර තිබූ නමුත් සොයාගත නොහැකි වූ පුද්ගලයන් 230,000කට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණය විය.
ඔවුන්ගෙන් ඇතැමුන් දශක ගණනාවකට පෙර මියගොස් තිබූ බවද හෙළි විය.
මෙම වැරදි ගණනය කිරීම්වලට අසම්පූර්ණ වාර්තා තබා ගැනීම බලපා ඇති අතර, ඇතැම් අවස්ථාවල වැඩිහිටි ඥාතීන්ගේ මරණය වසන් කර ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පවුල් උත්සාහ කළ බවට සැක පළ වී තිබේ.
ජපානයේ වයස්ගත ජනගහනය අඛණ්ඩව ඉහළ යමින් තිබියදී, උපත් අනුපාතය පහළ යාම සහ සමස්ත ජනගහනය හැකිලීම යන කරුණු දෙක රටේ අනාගත ආර්ථිකය, ශ්‍රම බලකාය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා ප්‍රධාන අභියෝගයක් බවට පත්ව තිබේ.