
ගාසා තීරයේ යුද්ධයෙන් හානි වූ බහුමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
ළමුන් පස් දෙනෙකු ද ඒ අතර සිටින බව ප්‍රාදේශීය ගලවා ගැනීමේ කණ්ඩායම් පවසනවා.
තවත් පිරිසක් සුන්බුන් අතර අතුරුදන්ව ඇති බව සඳහන්.
ගාසා නගරයේ තල් අල්-හවා ප්‍රදේශයේ පිහිටි එම ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් මියගිය පුද්ගලයන්ගේ සිරුරු සහ දිවි ගලවා ගත් පිරිස සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව සඳහන්.
ප්‍රදේශවාසීන් පවසන්නේ ගොඩනැගිල්ල අනාරක්ෂිත බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, පවුල් 10ක් පමණ එහි මහල් නිවාසවල පදිංචිව සිටි බවයි.
හමාස් පාලනය යටතේ පවතින සිවිල් ආරක්ෂක ගලවා ගැනීමේ සේවයේ සාමාජිකයන් සඳහන් කළේ, ගාසා තීරයට රැගෙන යෑමට අවසර දෙන උපකරණ සම්බන්ධයෙන් පවතින දැඩි ඊශ්‍රායල සීමා හේතුවෙන් මුලදී තමන්ට සුන්බුන් ඉවත් කිරීම සඳහා “හිස් අත්වලින්” කටයුතු කිරීමට සිදුවූ බවයි.
මේ අතර, අඟහරුවාදා ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් පස් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් සහ හමාස් ආරංචි මාර්ග පවසනවා.
මියගිය අය අතර ළමුන් දෙදෙනෙකු සහ හමාස් සංවිධානයේ අණදෙන නිලධාරියෙකු සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ දකුණු ගාසා තීරයේ හමාස් අණදෙන නිලධාරියෙකු සහ උතුරු ගාසා තීරයේ තවත් සටන්කරුවෙකු තමන් විසින් ඝාතනය කළ බවයි.