
මැද පෙරදිග ගැටුම් තවදුරටත් පුළුල් වෙමින් පවතින පසුබිමක, ඉරාකයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් අනතුරුව සෞදි අරාබිය සිය ප්‍රධාන තෙල් නල මාර්ගයක් තාවකාලිකව වසා දමා තිබේ.
ඉරාක රජය ප්‍රකාශ කර ඇත්තේ, සෞදි අරාබියේ නැගෙනහිර–බටහිර තෙල් නල මාර්ගයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය තම රටේ සිට දියත් කර ඇති බව තහවුරු වීමෙන් පසු, අදාළ ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් අණදෙන නිලධාරියකු එම තනතුරින් ඉවත් කර පරීක්ෂණයක් ආරම්භ කළ බවයි.
කිලෝමීටර් 1,200ක් පමණ දිගින් යුත් මෙම නල මාර්ගය සෞදි අරාබියට ලොව ප්‍රධානතම තෙල් අපනයන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය මඟහැර සිය බොරතෙල් ප්‍රවාහනය කිරීමට ඉඩ සලසයි.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයට මායිම්ව පිහිටි ඉරාකයේ මයිසාන් පළාතෙන් බව ඉරාක අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර තිබේ.
ඒ අනුව එම පළාතේ මෙහෙයුම් අණදෙන නිලධාරියා තනතුරින් ඉවත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
සෞදි විදේශ අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ, ආරක්ෂක පියවරක් ලෙස නල මාර්ගයේ මෙහෙයුම් අත්හිටුවීමට කටයුතු කළ බවයි.
ප්‍රහාරයෙන් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා ඇති අතර, නල මාර්ගයට සහ ඒ අවට පහසුකම්වලට සිදුව ඇති හානිය තවදුරටත් තක්සේරු කරමින් පවතින බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.
ප්‍රහාරයෙන් පසු නල මාර්ගය ආසන්නයේ පිළිස්සුණු භූමි ප්‍රදේශ සහ දුම් නිකුත් වන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපද නිකුත් වී තිබේ.
විදෙස් පුවත් සේවා, නෞකා ගමනාගමන තොරතුරු සපයන සමාගම් සහ විශ්ලේෂකයන් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, මෙම නල මාර්ගය හරහා ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් සියයට 4ත් 5ත් අතර ප්‍රමාණයක් ප්‍රවාහනය වන බවයි.
ප්‍රහාරයට වහාම ප්‍රතිප්‍රහාර එල්ල නොකිරීමට සෞදි අරාබිය තීරණය කර ඇති අතර, එරට විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ ඉරාක අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.
ඉරාක භූමියෙන් අසල්වැසි රටවලට එල්ල වන ප්‍රහාර වැළැක්වීමට ඉරාක රජය ගන්නා උත්සාහයන්ට සහාය දෙන බවද සෞදි අරාබිය ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත්, තම ස්වෛරීභාවය සහ ආරක්ෂාව ආරක්ෂා කිරීම, තෙල් හා අනෙකුත් වැදගත් යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සහ සිය පුරවැසියන්ගේ හා රටේ පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමේ අයිතිය තමන් සතු බව සෞදි රජය අවධාරණය කර ඇත.
මේ අතර, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, ඕමානය, කටාර් සහ කුවේටය ඇතුළත් ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC) ද ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.
ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (GCC) මහලේකම් ජාසෙම් මොහොමඩ් අල්බුදයිවි සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරය “භයානක උත්සන්නවීමක්” වන අතර සෞදි අරාබියේ ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව සහ වැදගත් යටිතල පහසුකම් වෙත එල්ල වූ පිළිගත නොහැකි තර්ජනයක් බවයි.