
ස්පාඤ්ඤයේ අල්මෙරියා (Almería) පළාතේ ලොස් ගල්යාර්දෝස් (Los Gallardos) ප්‍රදේශයේ හටගත් දරුණු ලැව්ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. එමෙන්ම තවත් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්. ජීවිතක්ෂයට පත්වූවන් අතරින් කිහිප දෙනෙකු ගිනි ජාලාවට හසුවී සම්පූර්ණයෙන්ම දැවී ගිය වාහන තුළ සිටියදී සොයාගෙන තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන්නේ විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් මෙම ගින්න ආරම්භ වී ඇති අතර, එය ඉතා කෙටි කාලයකදී ආසන්නයේ පිහිටි වනාන්තර ප්‍රදේශයට පැතිර ගිය බවයි. කෙසේ වෙතත්, ගින්නට නිශ්චිත හේතුව මෙතෙක් බලධාරීන් විසින් තහවුරු කර නොමැත. දකුණු යුරෝපය පුරා පවතින අධික උෂ්ණත්ව තත්ත්වය හේතුවෙන් ස්පාඤ්ඤය, ප්‍රංශය සහ පෘතුගාලය ඇතුළු රටවල් රැසක දැවැන්ත ලැව්ගිනි හටගෙන තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති අතර, දහස් ගණනක් ජනතාවට තම නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සිදුවී ඇත. අන්ඩලූසියා ප්‍රාන්ත රජයේ ප්‍රධානී ජුවාන්මා මොරෙනෝ (Juanma Moreno) මෙම සිදුවීම "මහා ඛේදවාචකයක්" බව පවසනවා. බේදාර් (Bedar) ගම්මානය ආශ්‍රිතව පැතිර ගිය මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයන් 150 කට අධික පිරිසක් යොදවා තිබෙනවා. එමෙන්ම ගින්න මැඩපැවැත්වීම සඳහා ස්පාඤ්ඤයේ හමුදා හදිසි ප්‍රතිචාර ඒකකය (UME) ද මෙහෙයුම්වලට එක්ව සිටිනවා. ගිම්හාන සමයේ ලැව්ගිනිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා මෙතෙක් ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් සැලැස්ම ක්‍රියාත්මක කරන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චෙස් (Pedro Sánchez) ප්‍රකාශ කර තිබෙනවා. ලැව්ගින්න හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, හදිසි සේවා අංශ පවසන්නේ ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි. 1950 වසරෙන් පසු පසුගිය ජූනි මාසයේදී ඉහළම දෛනික සාමාන්‍ය උෂ්ණත්වය ස්පාඤ්ඤයෙන් වාර්තා වූ අතර, එම මාසය තුළ ඇතැම් ප්‍රදේශවල ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වයද වාර්තා වුණා. ඇතැම් ප්‍රදේශ සඳහා සෙල්සියස් අංශක 42 ක උෂ්ණත්වයක් පුරෝකථනය කර තිබෙනවා.