
යුක්රේන යුද්ධයට උතුරු කොරියානු සහාය තවදුරටත් පුළුල් කිරීමට මාර්ගයක් විය හැකියි - විශ්ලේෂකයන්
රුසියාව සහ උතුරු කොරියාව අතර ටුමෙන් ගඟ හරහා ඉදිකළ පළමු මාර්ග පාලම නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
මෙම පාලම හරහා දෙරට අතර භාණ්ඩ හා මගී ප්‍රවාහනය වඩාත් පහසු වන අතර, පුද්ගල හුවමාරු, සංචාරක කටයුතු සහ වෙළෙඳාම සඳහා එය භාවිත කිරීමට නියමිත බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින් මෙම පාලම දෙරට අතර “නව මිත්‍රත්ව සංකේතයක්” ලෙස හඳුන්වා දී තිබෙනවා.
පාලම මගින් දෙරට අතර වෙළෙඳ, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට “බලවත් උත්තේජනයක්” ලැබෙනු ඇති බව රුසියානු අගමැති මිෂුස්ටින් පවසා තිබෙනවා.
විවෘත කිරීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු කියා සිටියේ මොස්කව් සහ පියොංයැං අතර සබඳතා මේ වන විට “කිසිදා නොතිබූ තරම් ඉහළ මට්ටමකට” පැමිණ ඇති බවයි.
උතුරු කොරියානු අගමැති පාක් තේ සොන්ග් එය “ඓතිහාසික සිදුවීමක්” ලෙස විස්තර කර ඇත.

රුසියානු රාජ්‍ය පුවත් සේවය වන TASS අනුව, මෙම පාලම හරහා දිනකට වාහන 300ක් පමණ සහ පුද්ගලයන් 2,323 දෙනෙකුට ගමන් කිරීමට හැකියාව ඇත.
කිලෝමීටරයකට ආසන්න දිගකින් යුත් මෙම පාලමට අමතරව නව ප්‍රවේශ මාර්ග, දේශසීමා පරීක්ෂණ මධ්‍යස්ථානයක්, ආධාරක යටිතල පහසුකම් සහ වාහන නැවැත්වීමේ ස්ථානද ඉදිකර තිබෙනවා.
මෙතෙක් දෙරට අතර ගුවන් හා දුම්රිය සම්බන්ධතා පැවතියද, මාර්ග මගින් ගමන් කිරීම සඳහා තිබූ එකම සම්බන්ධතාවය වූයේ දුම්රිය පාලමකි.
විශේෂ අවසර මත එම දුම්රිය පාලම මත ලී පුවරු තාවකාලිකව සකස් කර මෝටර් රථ ගමන් කිරීමට ඉඩ සලසා තිබූ බව මාධ්‍ය වාර්තා කරනවා.
රුසියානු රජය පවසන්නේ නව පාලම මුලින් භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන අතර, මෙම වසරේ පසුව මගී ප්‍රවාහනය සඳහාද විවෘත කිරීමට නියමිත බවයි.
නව පාලම විවෘත කිරීමේ වඩාත් ක්ෂණික බලපෑමක් ලෙස සැලකෙන්නේ උතුරු කොරියාව විසින් රුසියාවට සිදුකරන ආයුධ හා යුද උපකරණ සැපයුම් තවදුරටත් ඉහළ යාමට ඇති හැකියාවයි.
දකුණු කොරියානු බුද්ධි අංශයේ ඇස්තමේන්තු අනුව, උතුරු කොරියාව මේ වන විට නැව් මගින් රුසියාවට රොකට්, මිසයිල සහ කාලතුවක්කු උණ්ඩ ඇතුළු යුද උපකරණ ඩොලර් බිලියන 7ත් 14ත් අතර වටිනාකමකින් ලබාදී ඇතැයි සැලකෙනවා.
එමෙන්ම උතුරු කොරියානු සෙබළුන් 11,000කට ආසන්න පිරිසක් රුසියාවේ සිට යුක්රේනයට එරෙහි යුද මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින බවටද ඇස්තමේන්තු පළ වී තිබෙනවා.
2024 වසරේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උතුරු කොරියානු සංචාරයෙන් අනතුරුව දෙරට අතර උපායමාර්ගික හවුල්කාරීත්ව ගිවිසුමකට අත්සන් තැබුවා.
වසර 24කට පසු පුටින් උතුරු කොරියාවට ගිය පළමු අවස්ථාවේදී මෙම පාලම ඉදිකිරීම පිළිබඳ එකඟතාවකටද පැමිණ තිබුණා.
ඉදිකිරීම් 2025 වසරේ ආරම්භ වූ අතර, ප්‍රමාදයන් හේතුවෙන් දින 495කට පසුව පාලම ඉදිකිරීම අවසන් කර ඇත.
Truth Hounds පවසන්නේ දෙරට අතර ඇති උපායමාර්ගික හවුල්කාරීත්වය සැලකිල්ලට ගැනීමේදී, මෙම පාලම හරහා උතුරු කොරියානු හමුදා සාමාජිකයන්, ඉදිකිරීම් කම්කරුවන් සහ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් සෘජුවම රුසියාවට ගෙනයාමට හැකියාව ලැබිය හැකි බවයි.
එමෙන්ම රුසියාවෙන් උතුරු කොරියාව වෙත තාක්ෂණය හා සම්පත් ගලායාමද නව මාර්ගය හරහා පහසු විය හැකි බව එම සංවිධානය පෙන්වා දෙනවා.
උතුරු කොරියානු කම්කරුවන්ටත් නව මාර්ගයක්
රුසියාවට උතුරු කොරියානු කම්කරුවන් ප්‍රවාහනය කිරීම සඳහාද මෙම මාර්ගය භාවිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
දකුණු කොරියානු ඇස්තමේන්තු අනුව, උතුරු කොරියානු ජාතිකයන් 10,000කට ආසන්න පිරිසක් මේ වන විට රුසියාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සහ දැව කර්මාන්තයට සම්බන්ධ කඳවුරුවල සේවය කරනවා.
උතුරු කොරියානු කම්කරුවන් විදේශයන්හි සේවයේ යෙදවීම එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ තහනම් කර තිබුණද, ඇතැම් කම්කරුවන් ශිෂ්‍ය වීසා යටතේ රුසියාවට ඇතුළුවන බවට වාර්තා පළ වී තිබෙනවා.
මොස්කව් සහ පියොංයැං අතර වෙළෙඳ කටයුතු වර්ධනය වීමේ වේගය මෙම පාලම ඉදිකිරීමේ වේගයෙන්ද පැහැදිලි වන බව Center for Strategic and International Studies (CSIS) ආයතනයේ වික්ටර් චා මාධ්‍යවෙත පවසා තිබෙනවා.
වික්ටර් චාට අනුව, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ යුක්රේන යුද්ධය සඳහා උතුරු කොරියාව රුසියාවට ලබාදෙන සෙබළුන්, ආයුධ, යුදෝපකරණ සහ කම්කරුවන්ය.
“යුක්රේන යුද්ධයට පෙර උතුරු කොරියාව සහ එහි අසල්වැසි රටවල් අතර තිබූ සම්බන්ධතා අතරින් මෙය ඉතාමත් නිශ්ශබ්ද සම්බන්ධතාවක් වූ බව පැවසීම සාධාරණයි,” යනුවෙන්ද චා සඳහන් කර ඇත.
සංචාරක කටයුතුත් පුළුල් වෙයි
මේ අතර රුසියානු සංචාරකයන් උතුරු කොරියාවට පැමිණීමද 2024 වසරේ සිට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා.
උතුරු කොරියාව මේ වන විට රුසියානු සංචාරකයන්ට පියොංයැං අගනුවර මෙන්ම වොන්සාන්-කල්මා වෙරළ සංචාරක කලාපයද විවෘත කර ඇත.
එහෙත් අනෙකුත් රටවල සංචාරකයන් සඳහා උතුරු කොරියාව තවදුරටත් දැඩි සීමාවන් පනවා ඇත.
නව මාර්ග පාලමත් සමඟ දෙරට අතර වෙළෙඳාම, සංචාරක කටයුතු සහ ජනතා හුවමාරු වැඩිවනු ඇතැයි රුසියාව සහ උතුරු කොරියාව අපේක්ෂා කරන අතර, ජාත්‍යන්තර විශ්ලේෂකයන්ගේ අවධානය යොමුව ඇත්තේ එය දෙරට අතර හමුදා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට භාවිත විය හැකිද යන්න පිළිබඳවය.
කෙසේ වෙතත්, යුක්රේන විවෘත මූලාශ්‍ර බුද්ධි පර්යේෂණ කණ්ඩායමක් වන Truth Hounds පවසන්නේ මෙම පාලම සංචාරක හා වෙළෙඳ කටයුතු සඳහා පමණක් නොව, රුසියාවට යුක්රේන යුද්ධය සඳහා සහාය ලබාදීමේදී භාවිත කළ හැකි රහසිගත හමුදා සැපයුම් මාර්ගයක් ලෙස ප්‍රධාන වශයෙන් යොදාගැනීමට ඉඩ ඇති බවයි.