
දරුවෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට - 50කට ආසන්න පිරිසකට තුවාල
දකුණු ඉරානයේ සිරික් ප්‍රාන්තයේ කොහ්ස්ටැක් වෙරළබඩ ගම්මානයේ මංගල උත්සවයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ඇමෙරිකානු ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඉරාන බලධාරීන් පවසනවා.
මෙම ප්‍රහාරයෙන් දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මංගල උත්සවය පැවැත්වෙමින් තිබූ ස්ථානයට ප්‍රහාරය එල්ල වූ බවත් ප්‍රහාරයෙන් අනතුරුව තුවාල ලැබූ පිරිස ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන යෑමට කටයුතු කළ බවයි.
මෙම ප්‍රහාරය සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ලෙස හෙළා දකින බව ඉරාන බලධාරීන් පවසනවා.
කෙසේ වෙතත්, ඇමෙරිකානු පාර්ශ්වය පවසන්නේ නවතම ප්‍රහාරවල ඉලක්ක වූයේ ඉරානයේ ගුවන් ආරක්ෂක ස්ථාන, රේඩාර් පද්ධති, මුහුදු ආරක්ෂක පහසුකම් සහ මුහුදු බෝම්බ තැබීමේ පහසුකම් බවයි.
ඇමෙරිකානු ප්‍රහාරවලින් අනතුරුව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) මැදපෙරදිග පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු සහ පහසුකම් කිහිපයක් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා.
මේ අතර, බහරේනය සහ කුවේට් රාජ්‍යයන් ද ඇතිවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ජෝර්දානය ප්‍රකාශ කළේ තම ගුවන් සීමාවට එල්ල වූ මිසයිල 13කින් 10ක්ම තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් ග්රහනයට ගත් බවයි.
ඉතිරි මිසයිල තුන දුරස්ථ ප්‍රදේශවලට පතිත වූ බවද ජෝර්දාන බලධාරීන් සඳහන් කළා.