
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් සහ ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානියා වන බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහීඩි ප්‍රකාශ කර තිබෙනවා. උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අවසන් කටයුතු ඔහුගේ උපන් නගරය වන මෂ්හද්හිදී සිදු කිරීමෙන් පසු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානියා මෙම ප්‍රකාශය සිදු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධානි බ්‍රිගේඩියර් ජෙනරාල් අහමඩ් වහීඩි සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම “ඉතිහාසයේ මතකයෙන් කිසිදා මකා දැමිය නොහැකි” බවත්, සිදුවූ දෙයට සාධාරණය ඉටු කිරීම සහ වගකිවයුතු පාර්ශ්වයන්ට සුදුසු ප්‍රතිචාරයක් ලබාදීම අවශ්‍ය බවත්ය. “ඇමරිකාවේ අපරාධකාරී නායකයන් සහ ඉස්ලාමීය විප්ලවයට විරුද්ධ සියලු සතුරන් දැනගත යුතුයි — මෙම නායකයා ඝාතනය කිරීමෙන් ප්‍රතිරෝධයේ ධජය බිම හෙළීමට ඔවුන්ට කිසිදා නොහැකි වනු ඇත,” යනුවෙන් වහීඩි ප්‍රකාශ කළ බව සෙපා (Sepah) පුවත් ඒජන්සිය වාර්තා කර ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “වීර මරණයට පත්වූවන් වෙනුවෙන් පළිගැනීම සහ වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීම ස්ථිර, නීත්‍යානුකූල සහ කිසිදා අමතක නොවන ඉල්ලීමක් වනු ඇති” බවයි.