
ලිබියාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බෝට්ටුවක් පෙරළී යාමෙන්, පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදන් වී ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඒ අතර, ළදරුවන් දෙදෙනෙකු ද වන බව සඳහන්.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) සඳහන් කරන්නේ, පුද්ගලයින් 55 දෙනෙකු රැගත් යාත්‍රාව පෙබරවාරි 6 වන දින වයඹදිග ලිබියාවේ වෙරළබඩ නගරයක් වන සුවාරට උතුරින් පෙරළී ඇති බවයි.
අදාළ බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන්, දිවි ගලවා ගත් දෙදෙනෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
දිවි ගලවා ගත් අයට අනුව, බෝට්ටුව අප්‍රිකානු රටවලින් පැමිණි සරණාගතයින් සහ සංක්‍රමණිකයන් රැගෙන යමින් සිටි බව සඳහන්.
යාත්‍රාව පෙබරවාරි 5 වන දින රාත්‍රී 11 ට පමණ පිටත් වී පැය හයකට පමණ පසු පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
IOM වාර්තාවන්ට අනුව 2025 වසරේ දී මධ්‍යම මධ්‍යධරණී මුහුදු මාර්ග ඔස්සේ සංක්‍රමණයේ යෙදුණු 1,300 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇත.
මෙම වසරේ එම මාර්ගයේ මියගිය හෝ අතුරුදහන් වූ බවට වාර්තා වූ සරණාගතයින් සහ සංක්රමණිකයින්ගේ සංඛ්‍යාව අවම වශයෙන් 484 දක්වා ඉහළ අගයක් ගන්නා බව සඳහන්.