
බහරේනය සහ කුවේට් ඇතුළු රටවල පිහිටි ඇමෙරිකානු හමුදා ඒකක 85 ක් ඉලක්ක කර නාවික හා ගුවන් බලකා එක්ව මිසයිල සහ ඩ්‍රෝන උපයෝගි කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසනවා. මෙම ප්‍රහාරවලින් බහරේනයේ පිහිටි ඇමෙරිකානු පස්වන නාවික බලඇණි මූලස්ථානය (US Fifth Fleet Base) සහ කුවේට්හි අලි අල්-සාලෙම් ගුවන් හමුදා කඳවුරද (Ali Al-Salem Air Base) ඉලක්ක කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සඳහන් කරනවා. හෝර්මොස්ගාන් සහ මහ්ෂහර් ප්‍රදේශවල පිහිටි වෙරළබඩ හමුදා කඳවුරු සහ සිවිල් ස්ථාන වෙත ඇමෙරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ලබාදුන් "මූලික ප්‍රතිචාරය" බව IRGC සඳහන් කරනවා. එමෙන්ම, මෙම ප්‍රහාරයත් සමග ඇමෙරිකාව විසින් සටන් විරාම ගිවිසුම සහ ඉස්ලාමාබාද් ගිවිසුම උල්ලංඝනය කළ බවට ඉරානය චෝදනා කර ඇත. ඇමෙරිකානු ප්‍රහාරවලින් කෙෂ්ම් දූපතේ ස්ථාන 7ක්, සිරික් නගරයේ ස්ථාන 6ක් සහ බන්දාර් අබ්බාස් නගරයේ ස්ථාන 10 ක්, විදුලි සංදේශ කුළුණු ඇතුළු ස්ථාන රැසක්, ඉලක්ක වී ඇති බව ඉරාන බලධාරීන් පවසනවා. මෙම ප්‍රහාර වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම "බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව ඉරාන පාර්ලිමේන්තු කථානායක සහ ප්‍රධාන සාකච්ඡාකරු මොහොමඩ් ලිබාෆ් පවසනවා. ඉරානයේ අභාවප්‍රාප්ත නායකයාගේ අවමංගල්‍ය උත්සවයෙන් ජාත්‍යන්තර අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් ඇමෙරිකාව මෙම ප්‍රහාර සිදු කළ බවට IRGC චෝදනා කරනවා.