
වියට්නාමයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්
වන ෆු කුවොක් (Phu Quoc) දූපත ආසන්නයේ වේග බෝට්ටුවක්
පෙරළීමෙන් ඉන්දීය සංචාරකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ එම බෝට්ටුවේ ඉන්දීය සංචාරකයින් 32
දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ගමන් කරමින් සිට
ඇති අතර, පුද්ගලයින් 21 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇත.
අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.
වියට්නාමයේ මාධ්‍ය වාර්තා කළේ, අද (11)දහවල් ජනප්‍රිය හොන් මායි
රුට් න්ගෝඅයි (Hon May Rut Ngoai) දූපතෙන් පිටත්ව අන් තොයි
(An Thoi) ජාත්‍යන්තර වරාය වෙත යමින් සිටියදී, මෙම අනතුර සිදුව
ඇති බවයි.
ඇසින් දුටුවන් පැවසුවේ, ආසන්නයේ තිබූ බෝට්ටු කිහිපයක් වහාම
අනතුර සිදුවු ස්ථානයට ගොස් මගීන් ජලයෙන් ගොඩගැනීමට කටයුතු
කළ බවයි.
ඉන් අනතුරුව වියට්නාම දේශසීමා ආරක්ෂක බලකාය, නාවික හමුදාව
සහ වෙරළාරක්ෂක බලකාය එක්ව ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක
කර තිබෙනවා.
බෝට්ටුව තුළ මගීන් රැසක් සිරවී සිටිම හේතුවෙන් ගලවා ගැනීමේ
කටයුතු දැඩි අභියෝගයක් වු බව සඳහන්. .
වියට්නාමයේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්
සඳහන් කළේ, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර,
හැනෝයි සහ හෝ චි මිං නගරවල විශේෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන
පිහිටුවා විපතට පත් පවුල්වලට සහාය ලබාදෙන බවයි.
මේ අතර, පසුගිය වසරේ ජූලි මාසයේදී හාලොන්ග් බොක්ක (Ha Long Bay)
ප්‍රදේශයේ "Wonder Sea" සංචාරක බෝට්ටුවක් ගිගුරුම් සහිත කුණාටුවක්
අතරතුර පෙරළීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර,
එය වියට්නාමයේ සිදුවූ දරුණුතම මුහුදු අනතුරු අතරින් එකක් ලෙස සැලකෙනවා.